Sunday, July 17, 2011

සිත යනු කුමක්ද?

සිත හෙවත් මනස යනු මනුෂ්‍ය ශරීරය ආශ්‍රිතව පවතින ද්‍රව්‍යයමය නොවන කිසියම් බලයක් බව හඳුනාගෙන තිබේ. සිත මිනිස් ශරීරයේ පවතින ඉන්ද්‍රියක් නො වූවද සිත (මනස) නිර්මාණය වී ඇත්තේ මිනිස් මොළය පදනම් කර ගනිමිනි. මෙහිදී විශේෂ අවධානයට ලක් කළ යුතු කරුණක් තිබේ. එනම්, සිත නිර්මාණය විය හැක්කේ මිනිස් මොළයක් පදනම් කර ගනිමින් පමණි. එසේ වන්නේ ඇයි? මිනිසාට මෙන්ම සත්ව ලෝකයේ බොහෝ සතුන්ට මොළයක් තිබුණද මිනිසාට හැර සෙසු කිසිදු සතෙකුට සිතක් හෝ සිතීමේ හැකියාවක් නොමැත. සිතක් හෙවත් සිතීමේ හැකියාවක් මිනිසාට පමණක් හිමි වීමට මොහු තුළ පවතින විශේෂත්වය කුමක්ද?

සත්ව ලෝකයේ සිටින දහස් ගණනක් වූ සත්ත්ව විශේෂ අතුරින් වඩාත් සංවර්ධනය වූ මොළයක් පිහිටා ඇත්තේ මිනිසාට බව මානව විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබේ. මිනිස් මොළයේ සංවර්ධනය සඳහා බලපෑ ප්‍රධාන සාධකය මිනිසාට අනෙක් සතුන්ට මෙන් නොව නිෂ්පාදන කාර්යාවලියේ යෙදිය හැකි වීම බව මානව විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ. නිෂ්පාදන කාර්යාවලිය සඳහා "ශ්‍රමය" භාවිතා කළ යුතු අතර මිනිසා සෙසු සතුන්ට වඩා උසස් වීමට, සත්ත්ව ලෝකයේ වඩාත් සංවර්ධනය වූ මොළයකට උරුමකම් පෑමට හැකි වූයේ ඔහු තුළ පැවති ශ්‍රම හැකියාවයි. ( වර්තමානයේ ධනපති පන්තිය විසින් මංකොල්ල කන්නේද ​මිනිසාගේ මෙම ශ්‍රම හැකියාවයි.)

අපේ ආදිතම මුතුන් මිත්තන් සිව්පා සංචරණයක සිට ද්වී පා සංචරණයකට සංක්‍රමණය වීමත්, ඒ හේතුව නිසා ඔවුන්ගේ පූර්ව ගාත්‍රා සංචරණයෙන් නිදහස් වීමත්, එම නිදහස් පූර්ව ගාත්‍රා භාවිතා කරමින් විවිධ නිෂ්පාදන කටයුතු වල යෙදීමට හැකි වීමත්, ආයුධ හා උපකරන නිෂ්පාදනයේ සහ භාවිතයේ යෙදීමත්, නිෂ්පාදන කාර්යාවලිය සඳහා ශ්‍රමය භාවිතා කළ යුතු වීමත් යන සියළුම සාධකයන්ගේ අවසන් ප්‍රතිඵලය ලෙසට අනෙක් සතුන්ට නොමැති අන්දමේ වඩාත් සංවර්ධනය වූ මොළයක් මිනිසාට උරුම විය. සිතීමේ හැකියාව මිනිසාට පමණක් බව පැවසීම තරමක් මතබේදයට ලක් විය හැකි කරුණකි. විවිධ පුද්ගලයෝ සතුන්ට සිතක් හා සිතීමේ හැකියාවක් පවතින බව පවසමින් ස්වකීය මතය සනාථ කිරීම උදෙසා විවිධ තර්ක ගෙන හැර පාති. ඒත් මේ දක්වා සිතන්නට හැකියාවක් ඇති සතෙකු පිළිබඳව පැහැදිලි ලෙසින් කරුණු ඉදිරිපත් වී නොමැත.

මිනිසාට ඉතා සමීප චිම්පන්සීන්, ගෝරිල්ලන් වැනි මානව කල්ප වානරයින් මෙන්ම බල්ලන්, බළලුන්, අලියන්, හරකුන් වැනි මිනිසාගේ ගෘහ ආශ්‍රිත සතුන්ද සමහර විට ඔවුන්ගේ විවිධ ක්‍රියාවන්ගෙන් අප මවිතයට පත් කිරීමට සමත් වී සිටිති. එහෙත් සතුන් එලෙස හැසිරෙන්නේ සිතීම නිසා නොවන බවත් පුරුදු කිරීම හෝ උපස්ථම්භන ලබා දීම නිසා හෝ බවත් ඒ පිළිබඳව කර ඇති පර්යේශන වලින් තහවරු වී තිබේ.

ප්‍රායෝගිකව අපට හමුවන සරල උදාහරන කිහිපයක් සලකා බලමු. අලියෙක් මිනිසාට වඩා දස ගුණයකටත් වඩා විශාල වන අතර මිනිසාට වඩා බොහෝ ශක්තිවන්තද වේ. අලියෙකුගේ එක පහරකින් මිනිසෙකු මරා දැමිය හැකි වේ. සතුන්ට සිතීමේ හැකියාවක් තිබේ නම්, මෙතරම් ශක්තිමත් හස්ති රාජයෙක් මිනිසාට සහ ඔහුගේ හෙන්ඩුවට බිය වී මිනිසා හමුවේ වහලුන් මෙන් කටයුතු කරයිද? අලියාට සිතීමේ හැකියාවක් තිබේ නම් ඔවුන් තමන් මෙහෙයවන මිනිසාට පහර දී තමන්ට හුරු පුරුදු නිදහස් වනාන්තරයට නොගොස් සිටීද? අලි ඇතුන් පමණක් නොව දරුණු ඝනයේ සිංහයින් කොටියන් මී හරකුන් වෘක පවුලේ සාමාජිකයන් ආදී සතුන්ට සිතක් හෝ සිතිමේ හැකියාවක් ඇත්නම් මිනිසුනිට හීලෑ වී මිනිසුන්
ගේ හිරිහැර අඩත්තේට්ටම් මැද ජීවත් වේද.?

සතුන් කිසි දිනෙක නිෂ්පාදන කාර්යාවලියේ යෙදී නොසිටි අතර සත්ව ලෝකයේ සිටින සියළුම සතුන් අතුරින් නිෂ්පාදනයේ යෙදෙන එකම සත්ව කොට්ඨාශය මිනිසුන් පමණි. මිනිසුන් සිය අවශ්‍යතාවයන් නිෂ්පාදනය කර ගන්නේත්, සතුන් නිෂ්පාදන ක්‍රියාවලියක නොයෙදෙන්නේත්, මිනිසාට සිතීමේ හැකියාවක් ඇති නිසාත්, සතුන්ට සිතීමේ හැකියාවක් නොමැති නිසාත් වේ.

බොහෝ මාංශ භක්ෂක සත්
තු දඩයම් කර ගනිමින් සිය ආහාර අවශ්‍යතාවය සපුරා ගනිති. වඩු කුරුල්ලන් වැනි පක්ෂීහු ඉතා අලංකාර අන්දමින් සිය නිවාස තනා ගනිති. එහෙත් මේ දෑ කිසිසේත් "නිෂ්පාදන" නොවේ. මක්නිසාද වඩු කුරුල්ලන්ගේ කූඩු පරම්පරා ගනනාවක් තිස්සේ වෙනස් වී නොමැත. ඔවුන් හැමදාමත් කූඩු සැදුවේ එකම ආකාරයටය. සර්පයින් ඔවුන්ගේ බිත්තර හා පැටවුන් ගිල දැමුවද සිය කූඩු නිර්මාණය වෙනස් කර ගැනීමට වඩු කුරුල්ලන් සමත් වී නැත. සිංහයින්, කොටියන් වැනි සතුන් දඩයම් කර ගැනීමෙන් සිය ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නා අතර දඩයම් නොමැතිව ඔවුන් නිරාහාරව මියගිය අවස්ථාද එමට තිබේ. පරම්පරා ගණනාවක් තිසිසේ ඔවුන්ගේ මුතුන් මිත්තන් නිරාහාරව මිය ගියද ආහාර සපයා ගැනීමේ ක්‍රම වල වෙනසක් සිදු කර ගැනීමට ඔවුන්ට හැකි වී නොමැත. මෙසේ සිදු වන්නේ සතුන් පරිසරයෙන් සිය අවශ්‍යතාවයන් සපුරා ගන්නවා මිස පරිසරය වෙනස් කරමින් නිෂ්පාදනයේ නොයෙදීම හේතුවයි.

එහෙත්, ආරම්භයේදී අව්වට වැස්සට කිසිදු ආවරණයක් නොතිබූ, කුසගින්නෙන් සීතලෙන් සහ බියෙන් පීඩා වින්දා වූ මිනිසා අද අභ්‍යවකාශය සිය වාසස්ථානය බවට පත්කර ගන්නට උත්සාහ කරමින් සිටී. වානරයාගෙන් පරිනාමය වූ දා සිට මේ දක්වා මිනිසා වසර දස දහස් ගණනක් ගෙවා ඇති අතරම ඊට සාපේක්ෂව ඔහු විසින් දැවැන්ත ජයග්‍රහන රාශියක්ද අත්පත් කර ගෙන තිබේ. ආරම්භයේදී සිටි මිනිසාට වඩා අද සිටින මිනිසාගේ තත්ත්වය කෙතරම් වෙනස් දැයි අවබෝධ කරගැනීම එතරම් අපහසු කාරනයක් නොවේ. මිනිසා මේ සා දැවැන්ත ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගැනීමට සමත් වූයේ ඔහු ශ්‍රමය වගුරවමින් නිශ්පාදන කාර්යයේ යෙදීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මොළය වඩාත් සංවර්ධනය වූ අතර සිතීමේ හැකියාවද මිනිසා තුළ පහල විය. සත්‍ය වශයෙන්ම සිතීමේ පදනම ශ්‍රමයයි.

සත්ත්ව ලෝකයේ සිටින දහස් ගණන් වූ සත්ත්ව විශේෂ අතුරින් මිනිසාට පමණක් විශේෂිත වූ මෙම සිත හෙවත් මනස පවතින්නේ කොතැනද යන්න වටහා ගැනීමට දැන් උත්සාහ කරමු. පෙරදී සඳහන් කළ පරිදි මනස ඇති වන්නේ මිනිස් මොළය පදනම් කර ගනිමිනි. මොළයේ පවතින්නා වූ නියුරෝන ​සෛල කෝටි ගණනාවක් යම් කිසි නිශ්චිත පිළිවෙලකට සකස්වීම නිසා ඇති වන බලවේගය සිත නමින් හැදින් වේ. මෙය සරල උදාහරනයක් මගින් වටහා ගැනීමට උත්සාහ කරමු. මෝටර් රථයක් යනු ඇංජිම, බැටරිය, රෝද, සුක්කානම ආදී කොටස් වලින් සමත්විත උපකරනයක් වේ. මෝටර් රථයක වැදගත්ම ගුණාංගය වන්​නේ ඊට ගමන් කිරීමේ හැකියාවක් පැවතීමයි. මෙම ගමන් කිරීමේ හැකියාව මෝටර් රථයට පිටතින් පවතින්නක් නොවන අතර එය මෝටර් රථය අභ්‍යයන්තරයේම පවතින්නකි. මෝටර් රථයේ ඇංජිම සෑදී ඇති කොටස් සහ සෙසු කොටස් නියම්ත පරිදි සකස් කිරීම තුළ ඊට "ගමන් කිරීමේ හැකියාව" ලැබෙන බව අපි දනිමු. මිනිස් මොළයේ ස්වභාවයද මීට සමාන වේ. මිනිස් මොළයේ පිහිටි කෝටි සංඛ්‍යාත නියුරෝන ​සෛල කිසියම් නිශ්චිත පිළිවෙලකට සකස් වීම නිසා මිනිස් මොළය පදනම් කර ගනිමින් සිත හෙවත් සිතීමේ හැකියාව නිර්මාණය වී තිබේ.

සිත යනු මිනිසාට පරිභාහිරව පවතින්නක් නොවන අතර, මිනිස් මොළය පදනම් කරගනිමින් ඇතිවන බලවේගයක් වේ. මෝටර් රථයක ඇංජිම විනාශ වීමෙන් එහි ගමන් කිරීමේ හැකියාව අහෝසි වන්නාක් සේ, මිනිස් මොළයට හානි සිදුවීමෙන් සිතීමේ හැකියාව හා සම්බන්ධ ගැටළු ඇති වේ.

මෝටර් රථයක් යළි භාවිතයට ගැනීමට නොහැකි ලෙසින් විනාශ වී ගිය කළ එහි තිබූ ගමන් කිරීමේ බලයද ඒ සමඟම අහෝසි වී යන අතර එම බලය කිසි ලෙසකින් වත් වෙනත් මෝටර් රථයකට ඇතුළු නොවේ. වෙනත් මෝටර් රථයක ඇත්තේ වෙනත් ගමන් කිරීමේ බලයකි. මිනිස් සිතද මේ හා සමානය. නැවත ප්‍රකෘතිමත් කළ නොහැකි ලෙසින් මිනිස් මොළය අක්‍රීය වූ විට (එනම් මිනිසෙකු මිය ගිය විට) මිනිස් මොළය පදනම් කරගනිමින් නිර්මාණය වූ සිත හෙවත් සිතීමේ හැකියාවද අහෝසි වේ. එය වෙනත් ශරීරයකට (හෝ කළලයකට) ආරෝපණය වීමක් හෝ විශ්වයේ සැරි සැරීමක් හෝ සිදු නොවේ. පැහැදිලි ලෙසම, මිනිස් මොළය මිය ගිය විට සිත නමින් බලයක් තව දුරටත් ඉතිරි නොවන අතර මිනිස් මොළය පදනම් කර ගනිමින් නිර්මාණය වූ සිත මිනිස් මොළය අක්‍රීය වීමත් සමගින් අහෝසි වී යනු ලැබේ.





Friday, July 8, 2011

දර්ශනවාදයට ප්‍රවේශය

දර්ශනවාදය හෙවත් Philosophy යන වචනය කොටස් දෙකකින් සමත් විතය. පුරාණ ග්‍රීක බසින් Philio යනු ආදරයයි. දෙවන කොටස වන Sophia යනු ඥාණයයි. මේ අනුව Philosophy යනු ඥාණයට ආදරය කිරීම යන අදහස වේ. එසේම ආදරය කිරීමට ඥාණය අවශ්‍ය බවද එහි ගැබ්වී ඇත.

දර්ශනවාදය බිහිවූයේ ඉතා ඈත කාලයක මිනිසුන් පළමු වෙන්ම ලෝකයේ ආරම්භය ගැන, එහි ව්‍යුහය ගැන සහ එම ලෝකයේ මිනිසා දැරූ තැන ගැන සිතීමට පටන්ගත් විටය.

දර්ශනවාදය ඉතාමත් පුරාණ විද්‍යාවන්ගෙන් එකකි. එය අවට ලෝකය අධ්‍යනය අතින් අනෙක් සියලු විද්‍යාවන්ට සමානය. එහෙත්, ලෝකය පිළිබඳව අධ්‍යනය වෙත එහි ප්‍රවේශය අතින්, එහි විෂය සහ ක්‍රමය අතින් අනෙක් විද්‍යාවන්ට වඩා වෙනස්ය.

එක් එක් විශේෂ විද්‍යාවන් අවට ලෝකයේ නිශ්චිත කොටසක් හෝ ප්‍රදේශයක්, එහි සම්බන්ධයක් හෝ සම්බන්ධතා සමහරක් අධ්‍යනය කරයි. මේ අනුව, ජීව විද්‍යාවෝ ජීවීන් සහ එහි රීතීන්ද, පැලෑටි සහ සත්ව ලෝකයේ විශේෂතාද අධ්‍යනය කරයි. ආර්ථික විද්‍යාවෝ නිශ්පාදන බලවේගයන්ගේ සහ නිශ්පාදන සබදතාවල වර්ධනය, නිශ්පාදනය සහ බෙදාහැරීමේ ස්වරූපය අධ්‍යනය කරයි. අධ්‍යාපන විද්‍යාව යනු ශික්ෂණය හා අධ්‍යාපනය පිළිබඳ විද්‍යාවකි. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව, තාරකා විද්‍යාව, ප්‍රවේනී විද්‍යාව,..... වැනි තවත් විවිධ විද්‍යා විෂය ධාරාවන් ඇත. මේ හැම එකකින්ම අධ්‍යනය කරනු ලබන්නේ ලෝකයේ නිශ්චිත කොටසක් හෝ ප්‍රදේශයක් පමණි. නමුත් දර්ශනවාදය එසේ නොවේ. එය නිතරම සමස්ථයක් වශයෙන් අවට ලෝකය, එහි ස්වභාවය හා තත්ත්වය තේරුම් කිරීමට ප්‍රයත්න දරයි. එසේම සියලු විද්‍යා විෂයන් අතර ඒකත්වයක් ඇති කිරීම දර්ශනවාදය විසින් සිදු කරයි. එනම්, සෑම විද්‍යා විෂයක් තුලම දර්ශනවාදයේ අධ්‍යන කොටසක් ඇත. එසේම සියලු විද්‍යා විෂයන්ගේ මව දර්ශනවාදයයි.

සෑම පුද්ගලයෙකුටම අවට ලෝකය ගැන තමන්ගේම දැක්මක් ඇත. මෙම දැක්ම බොහෝ විට පරස්පර විරෝධී මතිමතාන්තර රාශියකින් සැකසී ඇත. එහෙත්, දර්ශනවාදය හුදෙක් එවැනි එකතුවක් නොවේ. දර්ශනවාදය යනු සොබාදහම, මිනිසා සහ ලෝකයේ ඔහු දරන තැන ගැන මත, අසහස් සහ හැගීම් පද්ධතියකි. එනම්, දර්ශනවාදය ලෝක දෘෂ්ටියකි.

ලෝක දෘෂ්ටියක් යනු යථාර්ථය කෙරෙහි සහ තමා කෙරෙහි මිනිසාගේ ආකල්පය, සමස්ථයක් වශයෙන් සමාජයේ ක්‍රියාකාරිත්වයේ දිශාව නිර්නය කරන ප්‍රතිපත්ති, මත හා විශ්වාසයන් සමස්ථයයි. විද්‍යාත්මක ලෝක දෘෂ්ටියක් යනු පුද්ගලයාට යථාර්ථය කෙරෙහි නිවැරදි ආකල්පය දැරීමට හැකියාවක් ඇති කරන්නා වූද යථාර්ථය පිළිබඳ මත පද්ධතියකි. විද්‍යාත්මක ලෝක දෘෂ්ටිය පුද්ගලයාගේ දැනුම අඛණ්ඩ හා ඒකාබද්ධ පද්ධතියක් බවට සකස්කරමින් සමාජ සංවර්ධනයේ අවශ්‍යතාවලට අනුකූලව ප්‍රජානනය කිරීමේ හා ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයේ විද්‍යාත්මක ක්‍රමයකින් ඔහුව සන්නද්ධ කරයි.

විද්‍යාත්මක ලෝක දෘෂ්ටිය අවිද්‍යාත්මක ලෝක දෘෂටියට පටහැනිය. අවිද්‍යාත්මක ලෝක දෘෂ්ටිය ව්‍යාජ සංකල්පනා, මත හා ලෝකය පිළිබඳ ආගමික හෝ දේවකතාවල එන අදහස් මත රඳාපවතී.

නිරන්තරයෙන් වෙනස් වන ලෝකයක යම් පුද්ගලයෙකුට තමන් සතු ස්ථානය දැනගැනීමට ආධාර විය හැක්කේ විද්‍යාත්මක ලෝක දෘෂ්ටියයි. එමගින් වාස්තවික සත්‍ය දෙසට වඩවඩාත් සමීප වන අතර වෙනත් ඕනෑම ක්‍රමයක් මුසාවන් හා ව්‍යාකූලත්වය දෙසට ගෙන යෑමක් වේ.

ලෝක දෘෂ්ටිය යනු පුද්ගල ජීවිතයේ හරය වේ. පුද්ගලයෙකුගේ සමාජ ක්‍රියාකාරිත්වය නිර්නය කරනු ලබන්නේ ඔහුගේ ලෝක දෘෂ්ටිය විසිනි. එය පුද්ගලයා විසින් වටපිටාවේ යථාර්ථය සංජානනය කිරීමට හා වර්තනය කිරීමට පාවිච්චි කරන ප්‍රිස්මයකි.

Tuesday, July 5, 2011

ශ්‍රමයේ කතාව-01

" මිනිස් රංචුව තම රංචුව තුල වන විවිධ සංස්කෘතික අංගයන්...... "

මේ වැකිය කියවන කොට ඔබට මොනවද හිතුනෙ...? ඒක තේරුම් කරන්න කලින් මෙන්න මේ වැකියත් කියවලා බලමු.

" මේ කාලයේ කුරුළු සමාජය සංචාරයේ යෙදෙන....."

මොකද හිතෙන්නේ? වාක්‍ය දෙක පැටලිලා වගේ කියල හිතෙනවද? ඔව්. ඇ
ත්තටම ඒ වාක්‍ය තුල වචන නොගැලපීමත් තිබෙනවා. අපි කවදාවත් අන්‍යෙන්‍යය බැදීමක් සහිතව ජීවත්වන මිනිස් සමූහයකට රංචුව කියල කියන්නේ නෑ. ඒකට අපි භාවිතා කරන්නේ සමාජය කියන වචනයයි. ඒ වගේ කුරුල්ලෝ හෝ වෙනත් සතුන් හෝ එකට ඒකරාශී වී සිටිනවා නම් අපි ඒකට කියන්නේ නෑ සමාජය කියල. එතනදී අපි කියන්නේ රෑන, රංචුව හෝ රැල වගේ වචනයක්.
ඉතින් අපි හැමදාමත් එහෙම කියපු නිසාමද මේ වචන මාරුකරල භාවිතා කළාම නොගැලපෙනවයි කියන්නේ?
නෑ... ඒ නිසාම නොවෙයි. මේ වචනවල වෙනස්කමක් තියෙනවා.

සතුන් රංචු ලෙස සිටින්නේ ඇයි....?
වෙනත් සතුන්ගෙන් ආර​ක්ෂාවීමට රංචු ලෙස සිටීම වැදගත් වෙනවා. ඒ වගේම එක ප්‍රදේශයක කෑම හිග වුණාම තවත් ප්‍රදේශයකට ගමන් කරන්න වෙනවා. එතකොටත් රංචුවක් හැටියට ඉන්න එක වැදගත්. සමහර සතුන් ලිංගික සංසර්ගයේ යෙදෙන කාල වලදී රංචු ලෙස ජීවත් වෙනවා. මෙන්න මේවගේ කාරණා නිසා තමයි සතුන් රංචු හැටියට ජීවත්වෙන්නේ.
කූඩුවක් හදාගන්න ඕනවුණාම හැම කුරුල්ලම තමන්ට තනියම කූඩුවක් හදා ගන්නවා. තමන්ට කෑම ඕන වුණාම රංචුවක් හැටියට හිටියා වුවත් ගෙඩියට හොට ගහල තනියම කන්න පුළුවන්. කොටියෙක් වගේ සතෙක් ගත්තත් ඌට පුළුවන් සතෙක්ගෙ ඇගට පැනල මරාගෙන මස් කන්න. ඒකට වෙන කාගෙවත් බාහිර සහයෝගයක් අවශ්‍ය කරන්නේ නෑ.

මිනිස්සුන්ට තනිවම අවශ්‍යතා සපුරාගත හැකිද?
මිනිසා බිහිවුනේ දියුණු වූ වානර විශේෂයකින් කියල අපි දන්නවා. ඉතින් ඒ විදිහට බිහිවුන මුල්ම යුගයේ මිනිසාට අභියෝග ගනනාවක් තිබුණා. එයාලා ආහාරයට ගත්තේ මුලින්ම ගස්වල ගෙඩි. එත් මිනිසා කියන්නේ අනෙක් සතුන්ට වඩා වෙනස් ස​තෙක්. සතුන් පුරුද්දට අනුවයි හැම දෙයක්ම කරන්නේ. කෑම වුනත් එහෙමයි. පළතුරු පුරුදුවුන සතා පළතුරු විතරමයි කන්නේ. වෙන දේවල් කන්නේ නෑ. එත් මිනිසා එහෙම වුනේ නෑ. එයා පළතුරු කන අතරේ වෙනත් දේවල් කන්න හෙව්වා. ඒ අනුව එයාලා සතුන් දඩයම් කරන්න පටන්ගත්තා. ඒත් සතුන් දඩයම් කරද්දී කොටියෙක් හරි, වෘකයෙක් හරි, නරියෙක් හරි ඒ දේ කරන විදිහට කරන්න ශක්තියක්, හැකියාවක් මිනිසාට තිබුනේ නෑ. ඉතින් ඒ අය කළේ පිරිමි සමූහයක් හැටියට සතෙක් හැම පැත්තෙන්ම වට කරලා ඌව බය කරලා ගල් මුල් වලින් ගහල සතා මරාගත් එක. මේ විදිහට සමහර සතුන් තවත් සතෙක් දඩයම් කරගැනීම කරනවා. ඒත් උන් හැමදාමත් ඒ විදිහටම කරනවා මිසක් එතනින් එහාට උපක්‍රම තේරුවේ නෑ. ඒ කියන්නේ සතුන් ඒ දේවල් කළේ පුරුද්දට. ඒත් මිනිස්සු ටික කලකින් දඩයමට උපක්‍රම හෙව්වා. ගලකින් හෝ පොල්ලකින් ගහල සතෙකුට තුවාල කරනවාට වඩා ගල හෝ පොල්ල කෙලවර තියුණු කිරීමෙන් සතෙකුට තුවාල කිරීමට පහසු බව අත්දැකීමෙන් හොයාගත්තා. ඔවුන් ඒ අනුව ගල් ආයුද, හෙල්ල වැනි දේවල් නිපදවා ගත්තා. ඒ හැම දෙයක්ම කෙනෙක් තනියම කරපු දේවල් නොවෙයි. එකිනෙකාගේ අත්දැකීම් එකතුකරගෙන කළ දේවල්.
ඒ වගේම තමයි. එදා සමාජයේ ශ්‍රම විභජනයක් තිබුණා. විශේෂයෙන්ම ගැහැනිය හා පිරිමියා අතර. පිරිමියා දඩයමේ යද්දි ගැහැණිය දරුවන් රැකබලා ගත්තා. ගෙනා ආහාර කණ්ඩායම අතර බෙදා දීමත් කලේ කාන්තාව විසිනුයි. මේ විදිහට ප්‍රාතමික සමාජය තුළත් මිනිසුන් අතර බැදීමක් තිබුණා. ඒක ඔවුන්ගේ පැවැත්මට අත්‍යාවශ්‍ය වුණා.
මිනිසාගේ පැවැත්ම තහවරු වුනේ ශ්‍රම විභජනයක් සහිතව සාමූහිකව ජීවත් වීම තුලයි. මිනිසා ලබපු හැම ජයග්‍රහනයකටම හේතුව සාමුහිකව ජීවත්වීමයි. එකිනෙකා අතර අන්තර් සම්බන්ධතා සමග මෙලෙස ජීවත්වන සමූහයකට කියන වචනය තමයි සමාජය කියන්නේ. ඉතින් සත්තුන්ට මෙවැනි සමාජයක් නෑ. සත්තු රංචු ගැසෙනකොට මිනිස්සු සමාජගත වෙනවා. මිනිසා කියන්නේ සමාජ සත්වයෙක් කියල දැන් ඔබට පැහැදිලියි නේද?